Breaking News
Home / Editors Choice / ආදරය සහ ලිංගික අවයවය නිසා සමාජයේ කිසි කෙනෙකුට ලේබල් ඇලවීමට කිසි කෙනෙකුට අයිතියක් නැහැ

ආදරය සහ ලිංගික අවයවය නිසා සමාජයේ කිසි කෙනෙකුට ලේබල් ඇලවීමට කිසි කෙනෙකුට අයිතියක් නැහැ

RN 1

Feb 14th, 2017 | By | Category: LGBTIQ ප්‍රජාව, OTHER NEWS

පසුගිය දිනවල සමාජයේ මානව හිමිකම් සම්බන්ධයෙන් විශාල කතිකාවක් ඇති වූ අතර එයට හේතුව වන්නේ මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මක් ලංකාවේ රජය විසින් සිවිල් සමාජය සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේදී සමලිංගික විවාහ නීතිගත කිරීම සහ ලිංගික ශ්‍රමික වෘත්තිය නීත්‍යානුකූල කිරීම සම්බන්ධයෙන් එහිදී යෝජනාවක් ගෙන ආ බවටත්, එම යෝජනාව ජනාධිපතිගේ අකමැත්ත හේතුවෙන් ප්‍රතික්ෂේප වූ බවටත් මාධ්‍ය වලින් ප්‍රචාරය වීමයි. ජී එස් පී ප්ලස් සහනය ලංකාවට ලබා දීමට යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට කොන්දේසි පනවා ඇති බවත්, ඉන් එක් කොන්දේසියක් වන්නේ සමලිංගික විවාහ නීත්‍යානුකූල කිරීම බවටත් මාධ්‍ය මඟින් ප්‍රචාරය වූ අතර ඒ පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණෙන් සිදු කරන ලද මාධ්‍ය හමුව 2017 පෙබරවාරි 13 වන දින කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය දිනේෂා සමරරත්න, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ආචාර්ය හරිනි අමරසූරිය, මධූ දිසානායක, වෛද්‍ය දයානාත් රණතුංග, වරදාස් ත්‍යාගරාජ්, භූමි හරේන්ද්‍රන් සහ තේනු රන්කෙත් යන අයගේ සහභාගීත්වයෙන් සහ නීතිඥ සුදර්ශන ගුණවර්ධනගේ මෙහෙයවීමෙන් CENWOR හිදී පැවැත්විණි.RN 2

 

 

දිනේෂා සමරරත්න – කොළඹ විශ්ව විද්‍යාලය
මෙවැනි නීති නීති පොත් වලින් ඉවතට විසි විය යුතුය

ලංකාවේ අපරාධ නීතිය යොදා ගනු ලබන්නේ සමාජයට හානිදායක ලෙස හැසිරෙන පුද්ගලයන්ට දැඩි දඩුවම් ලබා දීමට වන අතර ලංකාවේ නීතියේ අද වනතුරුත් දණ්ඩ නීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති මඟින් ‘ස්වභාවදහමට පටහැනි අස්වාභාවික ලිංගික ක්‍රියාව’ හා ‘බරපතල අශෝභන ක්‍රියා’ තහනම් කරන අතර, එය සමකාමීත්වය පුළුල් ලෙස සාපරාධීකරණය කරනු ලබයි. මෙම නීතිය ක්‍රියාත්මක නොවන බැවින් මේ සඳහා බිය විය යුතු නැතැයි ඇතැමුන් පවසන මුත් මෙම වගන්ති වල නොපැහැදිලිභාවය, නීතිය ක්‍රියාත්මක කරනා නිළධාරීන් හට සමකාමී ප්‍රජාවේ පුද්ගලයින්, වෙනස්කොට සැලකීමට හා ප්‍රචණ්ඩත්වයට හසුවන වින්දිතයන් බවට පත් කිරීමට, නීතිය මඟින්ම පුළුල් ලෙස අභිමත බලය පවරා දී තිබේ. නීතිය නිල වශයෙන් බලාත්මක නොකිරීමේ මෙම දිගුකාලීන ප්‍රවණතාවය මඟින් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සමකාමී ප්‍රජාවේ පුද්ගලයින් වින්දිතයින් බවට පත් නොවීමට ඇති මානව හිමිකම බහුල ලෙස කඩකරනු ලබයි. මෙවැනි නීති නීති පොත්වල තිබීමම වෙනස්කොට සැලකීමක් වන හෙයින් මිනිසුන්ගේ ජීවිතයට අනවශ්‍ය ලෙස හානි ගෙන දෙන මෙම නීතිය ඉවත් විය යුතු අතර ඒ පිළිබඳව සමාජයේ පුළුල් කතිකාවක් ඇති විය යුතුය.

ජේක් ඕර්ලොෆ්
අනෙක් අය භුක්ති විදින අයිතිවාසිකම් LGBT ප්‍රජාවට අහිමි වීමට එරෙහි විය යුතුයි
LGBT ප්‍රජාවට, අනෙක් ප්‍රජාවට මෙන් තමාගෙන් පසු දේපල පැවරීම වැනි දෙයක් කිරීමට සිදු වුවහොත් ලංකාවේ පවතින නීතිය හරහා එය සිදු කිරීමට හැකියාවක් තිබේද? ඒ අනුව අනෙක් ශ්‍රී ලාංකිකයන් භුක්ති විදින අයිතිවාසිකම් ඔවුන්ට සම සේ භුක්ති විදීමට නොහැකි වී තිබෙන බව බැලු බැල්මටම ප්‍රත්‍යක්ෂ වී තිබේ. එවැනි තත්ත්වයක් තුළ නීතිය ක්‍රියාත්මක වීමේදී පමණක් නොව සෞඛ්‍යය පහසුකම් ලබාගැනීම, අධ්‍යාපන පහසුකම් ලබා ගැනීම වැනි එදිනෙදා කටයුතු වලදී පවා ඔවුන් වෙනස්කම් වලට ලක් වන බැවින් අවම වශයෙන් මෙම 365, 365 (අ) වගන්ති ඉවත් කිරීම මඟින් ඔවුන්ට ද සමාජය තුළ සමානාත්මතාවය සහිතව ජීවත්වීමට අවශ්‍ය ඉඩකඩ ලබා දිය යුතුය.

 

 

අචාර්ය හරිනි අමරසූරිය –
‘සංස්කෘතිය’ තියෙන්නේ අනෙකාව පාලනය කිරීමට නෙවෙයි
සමකාමීත්වය සංස්කෘතියට පටහැනි දෙයක් බව ශ්‍රී ලාංකේය බහුතරයකගේ අදහස වන අතර ප්‍රජාතාන්ත්‍රික සමාජයක ‘සංස්කෘතිය’ යන කාරණය අනෙකාව පාලනය කිරීමට යොදා ගැනීම ගැන සමාජයේ බලවත් සාකච්ඡාවක් ඇති විය යුතුය. සමාජය යනු එක තැන් පල් වන්නක් නොවන අතර එය වෙනස් වේ, දියුණු වේ, ඒ වෙනස් වීම් මත සංස්කෘතියද වෙනස් වද්දී, සංස්කෘතිමය කාරණා ඉදිරිපත් කරමින් LGBT ප්‍රජාවට වෙනස් කොට සැලකීම මානවවාදීද යන කාරණය ගැන සමාජය තුළ පුළුල් කතිකාවක් ඇති විය යුතුය.

 

 

වෛද්‍ය දයානාත් රණතුංග –
සංස්කෘතිය රැක ගත යුතු නම් ඇයි අපි තාමත් අමුඩ අදින් නැත්තේ?
ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සුරක්ෂිත කිරීම යන කාරණය උදෙසා තර්ජනයක්ව පවතින සමකාමීත්වය ශ්‍රී ලංකාව තුළ නොපැවතුණු මානසික රෝගයක්ය යන කතිකාව සමාජයේ ඇති වී තිබේ. ඒ අනුව LGBT ප්‍රජාව සම්බන්ධයෙන් සමාජය තුල ඇති වී තිබෙන්නේ සංස්කෘතිය හා වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි මත ඇති වූ ගැටුමකි. සංස්කෘතිය යනු ප්‍රගමනය විය යුතු දෙයකි. සමකාමීත්වය යන්න මානසික රෝගයක්ය යන මතය මිථ්‍යාවක් වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය 1990 දී සමකාමීත්වය තම මානසික රෝග වර්ගීකරණයෙන් ඉවත් කර තිබෙන බව නැවත වරක් මතක් කර සිටීමට කැමැත්තෙමි. ඒ අනුව සමකාමීත්වය යනු ඉතාම සාමාන්‍ය චර්යාවක් බැවින් ඔවුන්ට වෙනස් කොට සැලකීමට එරෙහි විය යුතුය.

 

තේනු රන්කෙත්
‘සමකාමීන්’ යනු වෙනම පෙට්ටියකට දමා ඔවුන් පිළිබඳ තීන්දු තීරණ ගත යුතු අමුතු සත්ව කොට්ඨාශයක් නොවෙයි
උප්පත්තියේදී පිහිටන ශරීරාංගයන් මත ස්ත්‍රී පුරුෂ භාවය තීරණය කළ නොහැකිය. තමාගේ සමාජ ජීවිතය තීරණය කිරීමට තමාට අවකාශය, ඉඩ ප්‍රස්ථාව ලැබිය යුතුය. නමුත් සමකාමීත්වය නිසාම සමාජය විසින් මෙම ප්‍රජාව වෙනම රාමු කිරීමට ලක් කරන අතර ඔවුන්ට ඔවුන්ගේ ජීවිතයේ සියල්ල එමඟින් අහිමි වේ. පදනම් විරහිතව මෙම සමාජය තුළ ප්‍රජාවක් වෙනස්කොට සැලකීමට එරෙහි වෙමින් ඔවුන්ටත් ශ්‍රී ලාංකේය පුරවැසියන්ය යන පදනම මත පමණක් පිහිටා සමානාත්මතාවය භුක්ති විදිමින් ජීවත්වීමට අවශ්‍ය ඉඩකඩ ලබා දිය යුතුය.

 

මධූ දිසානායක
මනුෂ්‍ය ජීවිතයේ අතිශය පෞද්ගලික කාරණයක් ඔවුන්ව වෙනස්කොට සැලකීමට හේතුවක් වීම ඛේදවාචකයක්
සේවාවන් ලබා ගැනීමේදී LGBT ප්‍රජාවට ඒවා සමානාත්මතාවයෙන් යුතුව ලබා ගැනීමට අවශ්‍ය ඉඩකඩ සමාජය තුළ විවර විය යුතුය. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ, අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වෙනස්කොට සැලකීමට ලක් නොවෙමින් සේවාවන් ලබා ගැනීමට ඔවුන්ට ද ඇති ඉඩකඩ හා සුරක්ෂිතභාවය පිළිබඳව අවධානය යොමු කළ යුතුය. උදාහරණයක් ලෙස වෙනස් චර්යාවක් සහිත දරුවකුට පාසල තුළ සුරක්ෂිතභාවයක් තිබේද යන්න සිතා බලන්න. මේ සමාජය විසින් සමකාමී ප්‍රජාවගේ ළගම ඥාතියා ඔවුන්ගේ අනෙකා බව පිළි නොගන්නේ නම් ඔවුන්ගේ ළගම ඥාතියා කව්ද යන ප්‍රශ්නය පැන නැගේ. ඔවුන්ටත් අනෙන් ප්‍රජාවට සේම ඒ අයිතිවාසිකම් හිමි විය යුතුය. මෙතරම් සමාජයේ ගැරහුම් මධ්‍යයේ ඔවුන් එළියට විත් තම සමානාත්මතාවයෙන් ජීවත්වීමට ඉල්ලා සිටිනේ ඇයි? එතරම් දුෂ්කර දෙයක් ඔවුන් භාර ගන්නේ ඔවුන්ටත් අනෙකා මෙන් ජීවත් වීමට අවශ්‍ය නිසාම පමණක් බව සමාජය තේරුම් ගත යුතුය. මනුෂ්‍ය චර්යාවේ ලිංගික චර්යාව එක් කොටසක් පමණක් වන අතර එය අතිශයින්ම පෞද්ගලික කාරණයකි. සේවාවන් ලබාගැනීමේදී එවැනි කාරණයකට ප්‍රමුඛතාවය ලබාදීම පිළිබඳව සමාජය තුළ කතිකාවක් ඇති විය යුතුය.

 

භූමි හරේන්ද්‍රන් – මානව හිමිකම් ක්‍රියාධරනි –
ආදරය සහ ලිංගික අවයවය නිසා සමාජයේ කිසි කෙනෙකුට ලේබල් ඇලවීමට කිසි කෙනෙකුට අයිතියක් නැහැ
ගැහැණියකට පිරිමියෙකු ආදරය කළ යුතු බවත්, පිරිමියෙකුට ගැහැණියෙකු ආදරය කළ යුතු බවත් අප විසින් සාදා ගන්නා ලද සමාජමය රාමුවක් පමණි. මේ සමාජය විවිධත්වය ප්‍රතික්ෂේප කිරීම තුළයි සමකාමී ප්‍රජාව පීඩාවට ලක් වී තිබේ. සමාජයක සුන්දරත්වය විවිධත්වය තුළ තිබෙන බව තේරුම් ගන්නට හැකි තරම් මානුෂවාදී සමාජයක් අපි අපේක්ෂා කරන්නෙමු. මේ රටේ ජීවත්වන සියලුම දෙනා ශ්‍රී ලාංකිකයන් නම් සේවාවන් ලබා ගැනීමට යාමේදී, තමා ආදරය කරන්නේ කුමන කෙනෙකුටද යන්න හා තමාගේ දෙපා අතර ඇති ලිංගේන්ද්‍රිය කුමක්ද යන්න මත එය තීරණ වීම සමාජ ඛේදවාචකයකි. සමාජයේ ජීවත්වන කිසිම පුද්ගලයෙක්ට තවත් අයෙකුගේ ජීවිතය තිීරණය කිරීමට නොහැකි අතර මේ දේවල් වල රදා පැවැත්ම තීරණය වන්නේ මේ සමාජය කෙතරම් මානව හිතවාදීද යන කාරණය මත පමණි.

 

මේ අනුව ශ්‍රී ලාංකීය සමකාමී ප්‍රජාවේ පුද්ගලයින් පිළිබඳ ආමන්ත්‍රණයේදී රජයේ නිළධාරීන්ට හා ජනමාධ්‍යයට එය වගකීමකින් යුතුව හා නිවැරදි තොරතුරු සහිතව ඉදිරිපත් කරන ලෙස මාධ්‍ය හමුවේදී මෙම විද්වත් මණ්ඩලය ඉල්ලා සිටි අතර මේ වනවිට රජය සමඟ සමකාමී ප්‍රජාව කෙදිනකවත් සමකාමී විවාහ පිළිබඳව කිසිදු සාකච්ඡාවක් සිදු කර නොමැති බවත් ප්‍රකාශ කර සිටියහ. 1990 ගණන් වල පිහිටවූ මහජන කමිටුවේ සිට සියළු කටයුතුවලදී ඔවුන්ගේ ඉල්ලීම වුයේ දණ්ඩනීති සංග්‍රහයේ විධිවිධාන ඉවත්කොට වෙනස්කොට සැලකීමට ලක් නොවනු වස් ලිංගික දිශානතිය/නැඹුරුව හා ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවය පිළිගන්නා ලෙස පමණක් වන බවත් මෙහිදී මතක් කර සිටියහ. මේ අනුව ශ්‍රී ලංකාවේ සියළු ලිංගික දිශානතතියන්ට/නැඹුරුවන්ට හා ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවයන්ට එක සමානව සැලකීමට හා ගරු කිරීම තහවුරු කිරීමට 365 හා 365 (අ) වගන්ති ඉවත් කරන මෙන් ඉල්ලා සිටීම මෙම මාධ්‍ය හමුවේදී සිදුවිය.

 

මෙහෙදි කතිකයන්  දැක්වු සම්පුර්ණ අදහස් පහතින් නැරඹිය හැක. ඔබට ඩේටා(Data) ඉතිරි කර ගැනිමට අවශ්‍ය නම්  මෙහෙදි කතිකයන් දැක්වු සම්පුර්ණ අදහස් පහතින් සවන් දිය හැක .

 

 

 

ඔබට ඩේටා ඉතිරි කර ගැනිම සදහා  මෙහෙදි කතිකයන් දැක්වු සම්පුර්ණ අදහස් පහතින් සවන් දිය හැක .

Recent Posts

About freddy

Check Also

%e0%b6%9a%e0%b7%92%e0%b6%ab%e0%b7%92-1

මැලේසියාවේ වෙබ් මාධ්‍යවේදීන් පළමු වරට සයිබර් අධිකරණයකට.?

Malaysiakini :  මැලේසියා කිනි වෙබ් අඩවිය මැලේසියාවේ විකල්ප මාධ්‍ය අතර ප්‍රමුඛ මාධ්‍ය ආයතනයකි. එමෙන්ම එරට ...